www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

හෘදසාක්‍ෂියේ හඬ

"මනුෂයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනේ.
එහෙත් ස්වාමින් වහන්සේ සිත් කිරා බලන සේක.
පුජාවට වඩා ධර්මිෂ්ඨ කමද, යුක්තිය කිරීමද,
ස්වාමින්වහන්සේට ප්‍රියව තිබෙයි".
-හිතොපදේශ 21

මිනිසුන් හැටියට අප එදිනෙදා කරණ කියන ඕනෑම දෙයක හරි වරැද්ද ගැනත් යම් ආකාරයක හැඟීමක් අප තුළ ඉබේම පහල වෙයි. ඒ හැඟීම අප කරන කියන දේ ගැන පමණක් නොව නුමුත් අප සිත පතන දේ ගැනත් යම්ආකාරයක අනුබල දීමක් හෝ දෝෂාරෝපණය කිරීමක් බොහෝවිට අප තුල ඇතිකරයි. මිනිසුන්ගේ හදවත් තුල ගැඹුරින් ක්‍රියාවට නැගෙන මේ හැඟීම "හෘද සාක්ෂිය" ලෙසින් හඳුන්වයි. අද දින බයිබල පාඩම හෘදසාක්ෂිය යන මාතෘකාවත් සමග සම්බන්ධ වී ඇති අතර ඒ සඳහා මුල්වී එන බයිබල පද පහත දැක්වෙයි.

"මාගේ පුත්‍රවූ තිමොතියස්, නුඹ ගැන කළින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙන්නෙමි.
එනම්, නුඹ නුඹේ ඇදහිල්ල සහ යහපත් හෘදසාක්‍ෂියක් ඇතුව සිට,
ඒ තුලින් යහපත් ආත්මික යුද්ධය යුද්ධකරණ ලෙසය.
සමහරු ඒ හෘදසාක්‍ෂිය අතහැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝය.
නුමුත් ඒ ගැන නුඹම ප්‍රවේශම් වන ලෙසට නුඹෙන් ඉල්ලා සිටිමි".
- 1 තිමෝති 1:19 - 20

අප තුල ස්වභාවිකව ක්‍රියාවට නැගෙන මේ හෘද සාක්ෂිය නමැති හැඟීම බොහෝවිට හරිදෙය කිරීමට හෝ හරිදෙය තෝරාගැනීම වෙනුවෙන් මුල්වී අප තුලින් මතුවුවත්, එයට අපගේ ජිවිත හෝ සිත පාලනය කිරීමේ හැකියාව සතුනොවෙයි.

මෙසේ අප සියලුදෙනා තුල ස්වභාවිකව ක්‍රියාවට නැගෙන අපගේ මේ හෘද සාක්ෂිය නමැති ඒ හැඟීමට, අපගේ පුද්ගලික ජිවිත හෝ කල්ක්‍රියාවන් හෝ අපගේ සිත හෝ පාලනය කිරීමේ හැකියාව නොමැති වුවත් එය නොකඩවා සැමවිටම අපගේ හදවතට හොඳ නරක ගැනත්, හරි දෙය තෝරා ගැනීමටත් වැරදි දෙය තෝරා නොගැනීමටත් අවශ්‍යය සංඥාව සිතට ලබාදෙයි.

උදාහරණයක් ලෙසින් අප ජිවත්වන මේ වර්තමාන කාලයේ ඇති ප්‍රධාන නගරවල ගින්නක් හෝ යම් ආපධාවක් ඇතිවූ සැණින් එම ආපදාව නගර වැසියන්ට ඉක්මනින් දැනුම්දීම සඳහා අන්තරාව ගඟවන පිණිස නළාවක් හඬවයි. සුනාමියෙන් පසු එවැනි නලා අපේ රටේද සිටුවන ලදී. නළාවේ ශබ්ධය හඟවන්නේ අන්තරාවක් ළඟ පාත සිදුවන බව හෝ එසේ වීමට හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වෙමින් පැමිණෙන්නට යන ඒ අවධානම් තත්වයෙන් බේරී සිටින්නට කරණ අවවාද කිරීමයි.

ඒ අනුව බලන විට අප තුළ ස්වභාවයෙන් ක්‍රියාත්මක වන අපගේ "හෘදසාක්‍ෂියත්" අපට හඟවා දෙන්නේ එවැනිම අනතුරු හැඟීමක් යයි පැවසීමේ වරදක් දැකිය හැකි නොවෙයි. එයද අපගේ හදවතට අප කරණ දෙය ගැන හෝ අප කිරීමට යන දෙය ගැන හෝ සිදුවූ දෙයෙහි යථාර්තය ගැන හෝ පැහැදිළි විනිශ්චයක් අපටම හඟවාදෙයි. මෙසේ මිනිසුන් තම තමුන්ගේ එදිනෙදා කල්ක්‍රියාවේ හරි වරැද්ද හෝ හොඳ නරක ගැන ඉඟිය සියල්ලට පළමුවෙන් තමාගේම ඇතුලාන්තයෙන් ලබාගනියි.

මිනිසුන් තුල පමණක් ස්වභාවිකව ක්‍රියාවට නැගෙන මේ හෘද සාක්ෂිය අපට මැවුම්කාර දෙවියන්වහන්සේගෙන් ලැබූන බව බයිබලය පවසයි. දෙවියන්වහන්සේ මිනිසාට යහපත සහ නපුර ගැන දැනගැනීමේ ඉඟිය (හැකියාව) සැමවිටම හෘදසාක්‍ෂිය නමැති ඒ හැඟීම තුළින් ලබාගැනීමට ඉඩසලසා මවන ලද්දේ මිනිසුන් වන අපත් උන්වහන්සේ මෙන් හරිදේය කරමින් යහපත් ජිවිතයක් ජිවත්වන පිණිස බව දේව වචනය පෙන්වාදෙයි. ඒ අනුව දෙවියන්වහන්සේ පවා අප තුල ක්‍රියාවට නැගෙන්නේද අපගේ හෘද සාක්ෂියට එකඟවයි.

පාවුල් තුමා විසින් රෝමයේ සිටින ඇදහිලිවන්තයින්ට යැවූ ලිපියේද අප තුළ නිරන්තරයෙන් ක්‍රියාවට නැගෙන මේ හෘද සාක්ෂිය ගැන ගැඹුරු ඉගැන්වීමක් දැකීමට හැකියි. එහි ඔහු පවසා සිටින්නේ දෙවියන්වහන්සේ දන්නාවූ මෙන්ම දෙවියන්වහන්සේ නොදන්නාවූ අය තුළ පවා යහපත හෝ අයහපත ගැන දැනගැනීමේ ඉඟිය පමණක් නොව දෙවියන් ගැන හැඟීම පවා හෘද සාක්ෂිය තුළින් ක්‍රියාවට නැගෙන බවයි.

"මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතින් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරණ කළ, ඔවුහු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්තාවක්ව සිටිති. කෙසේද? ඔවුන්ගේ හෘදසාක්‍ෂිය සාක්‍ෂිදිමෙන්ද, ඔවුන්ගේ සිතිවිළි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂ කිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියන ලදැයි ඔවුහු දක්වති." -රෝම 2:14 - 15.

එයින් අදහස් වන්නේ, දෙවියන්වහන්සේගේ අණ පණත් නොදන්නා මිනිසුන් පවා තම හෘද සාක්ෂියට අනුව හැසිරෙමින් ක්‍රියා කරන්නේ නම්, ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් තුළ ආඥාව ලෙසින් හරි වැරැද්ද වෙනුවෙන් පෙනීසිටින බවයි. එබැවින් තමාගේ ඒ හෘද සාක්ෂිය දෙවියන් ඉදිරියේ තමා සදොස් හෝ නිදොස් බව හඟවාදීම වෙනුවෙන් පෙනීසිටින වා පමණක් නොව දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීමටත් එය මඟ පෙන්වන බවත් ඔහු කියා සිටියි.

මේ ලෝකයේ මිනිසුන් හැටියට උපත ලබා ජිවත්වන අප තුළ සහජයෙන් ක්‍රියාවට නැගෙන හෘද සාක්ෂිය යන මේ මිනුම් දණ්ඩ අපට දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබුවෙකි. එබැවින් මිනිසුන්ට පමණක් සහජයෙන්ම හිමිවී ඇති මේ හෘද සාක්ෂිය නමැති මාපකය සෑම මිනිසෙක් තුළ සැමවිටම සහජෙන් ක්‍රියාවට නැගෙන්නේ අප මොලොව පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියේද යහපත් මිනිසුන් මෙන්ම උන්වහන්සේ මෙන් ධර්මිෂ්ඨ මිනිසුන්ද වන පිණිසයි.

දෙවියන්වහන්සේගේ ස්වරූපයට මවා සාදණු ලැබූ මිනිසුන් වන අප තුළ අදටත් ක්‍රියාවට නැගෙන මේ උතුම් දේව ගුණාංගය තුළින් පමණක් අප මෙළොව ඇති හරි වැරැද්ද තෝරා බේරා ගැනීමේ හැකියාවත් උරුම කරගනියි. යහපත හෝ හරි දෙය කිරීමට අපට අනුබල දෙමින් අයහපත හෝ වැරැද්ද කිරීමට විරුද්ධව අප තුලින්ම නැගීසිටින මේ බලවේගය නපුර කිරීමෙන් වැලකී සිටීමට සිතට කෑගසා ඒ ගැන අවධානය යොමුකර පෙන්වාදෙන්නේ දෙවියන්වහන්සේ විසින් අප තුළ තබා ඇති මේ හෘද සාක්ෂිය යන ගුණාංගයේ පිහිටෙන් බව බයිබලය පෙන්වයි.

එසේ අප තුල රජකරන ඒ හෘද සාක්ෂිය අපට අපගේ තීරණ ගැන කෙතරම් දුරට අනතුරු හඟවනු ලැබුවත්, එසේ අප තුලින් පැනනගිනා ඒ න්‍යායට (හෘද සාක්ෂියට) අවනත නොවී, අපේ හිතුමතයට අනුව අපගේම හෘද සාක්ෂියට විරුද්ධ ක්‍රියා කිරීමේ හැකියාවද අප සතුවෙයි.

මිනිසුන් හැටියට අපි පුරුද්දක් ලෙසින් හෝ යම් යම් අවස්ථාවල සුළුවෙන් හෝ අප අපගේ හෘද සාක්ෂිය මග හරිමින් ක්‍රියා කිරීමට පුරුදුව සිටියත්, දිනකදී අපගේ හෘද සාක්ෂිය අපටම විරුද්ධව නැගීසිට එය අපව අල්ලා ගන්නේ එය පමණක් අපට අපගේ ධර්මිෂ්ඨකම වෙනුවෙන්ද ඇති එකම අධ්‍යාත්මික මාපකයද වන නිසායි.

අප තුළ ක්‍රියාකරණ අපගේ මේ හර්ද සාක්ෂිය ඉතාමත් සියුම් එකක් මෙන්ම බලවත් එකකි. එය සියුම් නිසා ඉතා ඉක්මනින් කැඩෙන බිඳෙන සුළු එකක්ද වනවා වාගේම හෘද සාක්ෂිය අපට විරුද්ධවද නැගිසිටියි. විශේෂයෙන් අප මුහුණ දෙන්නාවූ වාතාවරණයේ බැරෑරුම්කම මත, අපතුළ නලියන අපගේ හෘද සාක්‍ෂියෙහි බලපෑමද වෙනස් වෙයි. මෙවැනි අවස්ථාවන්වලදී මිනිසුන් බොහෝදුරට එය පළුදු කරගනියි.

හෘද සාක්ෂිය පළුදු කරගන්නවාට අමතරව එහි බලපෑමට විරුද්ධ වීම තුලින් එහි තියුණු කම අවමකර ගැනීමටද මිනිසාට හැකිවෙයි. එවිට වැරැද්දෙන් පැනයාම උදෙසා, හෘද සාක්ෂිය පෙන්වාදෙන සත්‍යට අකිකරුවෙමින්, සත්‍යය තෝරා ගෙන එයට අවනත වෙනවා වෙනුවට බොරුව නමැති අසත්‍යය තෝරා ගෙන තමන්ගේ වාසිය උදෙසා ක්‍රියාකිරීමට මිනිසුන් පෙලෙඹෙයි.

එවිට එහි ප්‍රතිඵලය වන්නේ හෘද සාක්ෂිය ගණන් නොගෙන ඕනෑම දෙයක් කිරීමට පෙළඹීමයි. එවැනි තත්වයකට පත්වීම භයානක වන්නේ තමා පමණක් හරියි යන හැඟීමෙන්නුත් තමාගේ වාසිය පමණක් වැදගත් යන අරමුණින්නුත් ජීවත්වීමයි.

මිනිසුන් හැටියට අපි අප ඉදිරියේ ඇති වාසිය නිසා හෘද සාක්‍ෂියට එරෙහිව විරුද්ධවෙමින් ක්‍රියා කරණු දක්නට ලැබෙන්නේ, හෘදසාක්ෂිය නොතකා ක්‍රියා කිරීමේ හැකියාව අපට තිබෙන නිසායි. එසේම අපි බොහෝ දුරට අපගේ හෘද සාක්‍ෂියට විරුද්ධව ක්‍රියාකරන්නේ අප ඉදිරියේ ඇති වාසියට ඇති කෑදරකම නිසායි.

එවැනි ක්‍රියාකාරකම් වලට හේතු දැක්වීමේ නිදහස අප සතුවුණත් යථාර්තය වන්නේ, අවසානයේදී අපගේ හෘද සාක්ෂියම අපට විරුද්දව සාක්ෂි නැගීමට පටන් ගැනීමයි. යමෙකුගේ හෘද සාක්ෂිය තමාට එරෙහිව නැගිසිටිමේදී එයින් පලා යෑමට හැකි නොවන්නේ එය තමා තුලින්ම තමාට විරුද්ධ නැගීසිටීමේ හේතුව උඩයි. පව් කිරීමේදී පවා ඒ වෙනුවෙන් අප හෘද සාක්ෂිය දොස් නගනා විට ඒ ගැන නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට අපට නොහැකි වන්නේද අපි අපගේම හෘද සාක්ෂියට විරුද්ධව එසේ පව් කිරීමට තීරණය කල නිසායි. එවිට අපගේ හෘද සාක්ෂිය අපටම දඬුවම් පමුණුවයි.

"මාගේ පුත්‍රවූ තිමොතියස්, නුඹ ගැන කළින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙන්නෙමි.
එනම්, නුඹ නුඹේ ඇදහිල්ල සහ යහපත් හෘදසාක්‍ෂියක් ඇතුව සිට,
ඒ තුලින් යහපත් ආත්මික යුද්ධය යුද්ධකරණ ලෙසය.
සමහරු ඒ හෘදසාක්‍ෂිය අතහැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝය.
නුමුත් ඒ ගැන නුඹම ප්‍රවේශම් වන ලෙසට නුඹෙන් ඉල්ලා සිටිමි".
- 1 තිමෝති 1:19 - 20

පාවුල් තුමා තමා අනුගමනය කරන ගෝලයා වූ තිමෝතිට දෙන අවවාදය වන්නේ; ඔහු තුළද නිරන්තරයෙන් ක්‍රියාවට නැගෙන ඔහුගේම ඒ යහපත් හෘද සාක්ෂිය "පළුදු වීමට ඉඩනොහැර" එය ඉදිරියේ සැමවිටම අවංකවී ඒ තුලින් ආත්මික ජීවිතය ජයගන්නා ලෙසයි.

දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලේ වර්ධණය පවා අපගේ යහපත් හෘද සාක්ෂියට මුල්වී ක්‍රියා කරන බව පාවුල්තුමා තිමෝතිට පෙන්වාදෙයි. එබැවින් සැමවිටම අපගේ හෘද සාක්ෂියට අනුව අප තුල ක්‍රියා කරන ඒ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරකමටත් භාධාවක් නොවෙන පිණිස හෘද සාක්ෂියට අනුව ජිවත්වන ලෙසින් ඔහු තිමොතිගෙන් ඉල්ලා සිටියි. දෙවියන්වහන්සේ ඉදිරියේ අවංකව ක්‍රියා කිරීමට අප උත්සාහ කරනවා වාගේම, දෙවියන්වහන්සේ විසින් අප තුල තබා ඇති ඒ හෘද සක්ෂිය ඉදිරියේත් අවන්කවී කටයුතු කරනා ලෙසත් පාවුල් තුමා ඉල්ලා සිටින්නේ, ඒ තුලින් පමණක් අපට දෙවියන්වහන්සේ සමගින් යහපත් සම්බන්ධයක් ගොඩනගා ගැනීමට හැකිවන නිසායි. එබැවින් තිමෝති මෙන් ඇදහිලිවන්තයන් වන අප සියලුදෙනාම යහපත් හෘද සාක්ෂියක් ඇතුව ජීවත්වීමට උත්සාහ කිරීම වැදගත් බව පාවුල් තුමා මතක් කරයි.

පාවුල් තුමාගේ මේ අවවාදය පිටුපස විශේෂ හේතුවක්ද සැඟවී තිබෙයි. තිමෝතියස් ට ඒ ගැනත් තේරුම් කරදීමට ඔහු වතුරේ පාවෙන නැවක් උදාහරණයට ගනු පෙනෙයි.

සුළුවෙන් හෝ අපිත් අපගේ හෘද සාක්‍ෂියට පටහැනිව වැරදි ක්‍රියාවන් සිදුවීමට ඉඩහරින විට සිදුවන්නේ, නැවක් තුළට සුළුවෙන් වතුර කාන්දුවීමේදී ඒගැන උනන්දු නොවීසිටිම වාගේ ක්‍රියාවකි. ආරම්භයේදී සුළුවෙන් හෝ එවැනි ක්‍රියාවලට ඉඩහැරීම අවසානයේදී සම්පුර්ණයෙන්ම විනාශයට මඟ පාදා ගැනීමේ ආරම්භය විය හැකි බව පාවුල් ඒ ගැන අනතුරු හඟවයි.

පළමුවෙන්ම කුඩා බින්දුවක් ලෙසින් එය පටන් ගැනුණත් මේ තත්වය දිනෙක නැවක් සම්පුර්ණයෙන්ම විනාශයට ඇද දැමිය හැකි තරම් දරුණු කාන්දුවිමකට පත්කළ හැකී බව ඔහු තිමොතියස්ට මතක්කරයි.

දෙවියන්වහන්සේ අපගේ හදවතට උන්වහන්සේගේ වචනය තුලින් කොඳුරන විටත් , එසේම උන්වහන්සේ දිනපතා අපගේ හදවතට අපේම හෘද සාක්ෂිය තුලින් අප අවධානය අවධිකරනවිටත් , දෙවියන්වහන්සේම විසින් අපට ධර්මිෂ්ඨ ජිවිතයක් ගත කිරීමට උපකාරී වන පිණිස මිනිසා තුල පිහිටවා ඇති ඒ "හෘද සාක්ෂිය නමැති ඒ මාපකයේ සියුම් හඬට කිකරුවී", වැරදි හදාගෙන ඒවා නොකර සිටීමේ වගකීම ඇදහිලිවන්තයන් වන අප එකිනෙකා ගේ වගකීමද වෙයි. නුමුත් දෙවියන්වහන්සේගේ ඒ හඬට ඇහුම්කන් නොදී අප අපගේම ස්වකිය කැමැත්තට ඉඩදී ක්‍රියා කරනවිට සිදුවන්නේ අප තුල ක්‍රියාවට නැගෙන දෙවියන්වහන්සේගේ ආත්මයත් නතරකර ගැනීමට ඉඩ සළසා ගැනීමයි.

එබැවින් ගිලෙන්නට යන හෝ විනාශ වීමට යන අපගේ ආත්මික ජීවිතය නමැති ඒ නැව ගැනත් දෙවියන්වහන්සේම අපට හෘද සාක්ෂිය තුලින් සිදුවන අවධානම ගැන අනතුරු හඟවන විටදී , එයට ඇහුන්කම්දී කීකරුවීමේ වගකීම වැදගත් එකක් වන්නේ, ඒ තීරණය මත පමණක් අප එකිනෙකාගේ ආත්මික ජිවිතයේ මියයෑම හෝ ජයගැනීමද රැඳී ඇති නිසායි.

"සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබෙයි.
ඒක දුෂ්ඨවම තිබෙයි.
ඒක කාට දැනගන්නට පුලුවන්ද?
ස්වාමින්වහන්සේ වෙන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද,
ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස,
සිත විභාග කොට අදහස් සෝදිසි කරමි".
-යෙරෙමියා 17: 9-10

යමෙකුට තම වැරදි ක්‍රියා ගැන හැඟීමක් නොදැනෙන්නේ නම් එය පෙන්වාදෙන්නේ ඒ පුද්ගලයාගේ හෘද සාක්ෂිය මොට්ටවී ඇති බවයි. මොට්ටවී ඇති අපගේ හෘද සාක්‍ෂිය නැවත වතාවක් තියුණු කල හැක්කේද අප තුළ එවැනි දෙයක් තැබූ දෙවියන්වහන්සේට පමණි. එබැවින් දේව වචනයට කිකරුවී උන්වහන්සේගේ අත්වලට භාරවීම තුලින් පමණක් අපට අපගේ මොට්ටවී ගිය හෘද සාක්ෂිය නැවත වතාවක් තියුණු කරගැනීමට හැකිවෙයි.

ශුද්ධ ආත්මයාණන් වහන්සේගේ අනුග්‍රහය සහ දෙවියන්වහන්සේගේ වචනය ඒ වෙනුවෙන් අප තුළ ක්‍රියා කිරීමට අප ඉඩහරින්නේ නම්, දෙවියන්වහන්සේ තුළින් ආත්මික නිදහස මෙන්ම ජයග්‍රහණයද ලබා ගැනීමට අපට හැකියි.

දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීම තුල මිනිසාගේ ආත්මික ජීවිත මෙන්ම යහපත් හෘද සාක්ෂියක වර්ධනයත් රැඳී පවතියි. යහපත් හෘද සාක්ෂියක් වෙනුවෙන් කරන යාඥාවයක් ගීතාවලියේ මෙසේ සටහන් වෙයි.

"ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පුර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය.
ස්වාමින්ගේ සාක්‍ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥාණවත් කරන්නේය.
ස්වාමීන්ගේ පණත් සදරණය, සිත් ප්‍රීති කරන්නේය.
ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස එළිය කරන්නේය.
ස්වාමින් කෙරෙහි භය පිරිසිඳුය, සදාකල් පවත්නේය.
ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පුර්ණයෙන් ධර්මිෂ්ඨය.
තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ.
ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.
ස්වකිය වැරදි දැනගත හැක්කේ කාටද?
නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.
එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා
වැළක්වුව මැනව, ඒවා මා කෙරෙහි
අදිපතිකම් නොකෙරේවා".
-ගීතාවලිය 19:7-13.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)